Life
බෝනොවන රෝග අතරේ හිතට දුකම දෙන රෝගය
සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක් ලෙස පිළිකාව හඳුන්වා දීමට හැක. ජගත් සංගණනයන්ට අනුව 2008 වසරේ අලුතින් හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 12.7 කි. මෙම සංඛ්‍යාවෙන් මිලියන 7.6 ක් මියගොස් ඇත්තේ පෙණහලු, පියයුරු, බඩවැල් හෝ ආමාශයේ පිළිකාවන් හේතුවෙනි.
මේ පිළිකාවන් අතුරින් කාන්තාවන් තුළ දැකිය හැකි බහුලම පිළිකාව ලෙස පියයුරු පිළිකා හඳුන්වා දිය හැක. ඊට අමතරව ගැහැනු, පිරිමි දෙපිරිසම අතුරින් දෙවැනි ස්ථානය ගනු ලබන්නේද පියයුරු පිළිකාවයි. පියයුරු පිළිකාවක් ඇතිවීමේ ප්‍රමාණය සාමාන්‍යයෙන් සංවර්ධිත රටවල ඉතා අධිකය.
පියයුරු පිළිකා අධික වීමට හේතු වූවා යැයි අනුමාන කරනු ලබන හේතූන්,
♦ දරුවන් බිහිකිරීමේ රටාවේ ඇති වෙනස්කම්.
♦ මව්කිරි ලබාදීමෙන් ඈත්වීම.
♦ දීර්ඝ කාලයක් තිස්සේ සිරුරට පිටතින් හොමෝනයන් ලබාගැනීම.
♦ අධික මේද සහිත ආහාරයන්ට වැඩිපුර නැඹුරු වී නැවුම් එළවළු පලතුරින් ඈත්වීම.
♦ ව්‍යායාම මඳකම.
♦ අධික ස්ථූලතාවය (විශේෂයෙන් ආර්තවහරණයෙන් පසුව)
♦ මත්පැන් හා දුම්වැටියට ඇබ්බැහි වීම.
පියයුරු පිළිකා සෑදීමේ වැඩි අවදානම් සහිත පුද්ගලයින්
♦ මින් පෙර එක් පියයුරක හෝ පිළිකාවක් ඇතිවී ප්‍රතිකාර ගනු ලැබූ කාන්තාවෝ.
♦ ඩිම්බ කෝෂ පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවෝ.
♦ ලේ ඥාතියකුට පියයුරු පිළිකාවක් වැලඳුණු ඉතිහාසයක් ඇති කාන්තාවන් (මව, සොහොයුරිය, මවගේ මව, මවගේ සොහොයුරිය, පියා, පියාගේ මව, පියාගේ සොහොයුරිය ආදිය)
♦ ගර්භණි අවස්ථාවන් පසු නොකළ කාන්තාවන්. එනම් දරුවන් නොමැති කාන්තාවන්.
♦ වයස අවුරුදු 11 ට පෙර ඔසප් වීම ආරම්භ වූ හෝ අවුරුදු 55 පසුවීමෙන් ආර්තවය නතර නොවූ එනම් ආර්තව චක්‍ර වැඩි ගණනකට භාජනය වූ කාන්තාවන්.
♦ මවුකිරි ලබා නොදුන් කාන්තාවන්.
♦ පළමු දරු උපත අවුරුදු 35 ට පසුව සිදුවූ කාන්තාවන් හෙවත් ප්‍රමාද වී දරුවන් බිහිකළ කාන්තාවන්.
♦ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (HRT) දිගු කාලීනව ලබාගන්නා කාන්තාවන්.
♦ අයහපත් වැරදි ජීවන රටා සහිත කාන්තාවන්. එනම් අධික මේද සහිත ආහාර අනුභව කරන්නන්,එළවළු, පලතුරු අනුභවය අඩු කාන්තාවන්, ව්‍යායාම අඩු, ස්ථුල කාන්තාවන්, මත්පැන් පානයට හුරුවූ අයද පෙන්වා දිය හැක.
පියයුරු පිළිකාවේ ලක්ෂණ
♦ පියයුරුවල හැඩයේ වෙනස් වීමක් හෝ සමමිතික, අසමමිතික බව.
♦ පියයුරුවල සමේ වර්ණයේ වෙනසක් තිබිම.
♦ පියයුරු මතුපිට සම දොඩම් ලෙල්ලක ස්වභාවයක් ගැනීම.
♦ පියයුරු මත තුවාලයක් හෝ දදයක් තිබිම.
♦ මතුපිට සමේ වළ ගැසීමක් තිබිම.
♦ තනපුඩුව ගිලීයාම.
♦ තනපුඩුව වණවීම, තුවාලවීම හෝ පැලීයාම.
♦ තනපුඩුවෙන් ශ්රාවයක් නිකුත් වීම.
♦ පියයුරේ ගැටිත්තක් හෝ ඉදිමුණ ස්වභාවයක් ගැනීම.
♦ පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමට ඉතාමත් පහසු පිළිකාවකි. එය පරීක්ෂා කර සැකහැර දැනගත හැකි ක්රමයන් කිහිපයකි.
♦ සායනික පරීක්ෂණයකට යොමුවීම. මෙය පුහුණු සෞඛ්‍ය නිලධාරියකු විසින් කරනු ලැබේ.
♦ ස්වයං පියයුරු පරීක්ෂාව
♦ මැමෝග්රැෆී පරීක්ෂණයකට යොමුවීම. (Mammography) මෙහිදී අති වනි තරංග සුපරීක්ෂණය හෙවත් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව සිදුකරයි.
Breast cancer (2)
ස්වයං පියයුරු පරීක්ෂාව
මෙය සෑම කාන්තාවක්ම සිදුකළ යුතු පරීක්ෂණයකි. කුඩා වයසේ සිටම කාන්තාවක් තම පියයුරු පරීක්ෂාව සිදු කිරීම මගින් ඉතා සුළු වෙනසක් වුවද පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාවක් ලැබේ.
ආර්තවහරණයට ලක් නොවූ කාන්තාවන් මෙම පරීක්ෂාව සෑම මසකම ඔසප් වීමෙන් සතියකට පසුව සිදුකළ යුතුය.
ඔසප්වීම නැවතුන කාන්තාවන් සෑම මසකම මුල් කාලයේ තෝරාගත් එක් නියමිත දිනක ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකළ යුතුය.
මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය.
ආවරණය වූ නිදන කාමරය හෝ නානා කාමරය ඊට සුදුසු අතර ඉඳගෙන සිටගෙන හෝ ස්නානය කරන යන ඕනෑම ඉරියව්වක සිට මෙය කළ හැක.
ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතු ආකාරය
මෙම පරීක්ෂාවේ ප්‍රධාන පියවර දෙකකි.
♦ තම පියයුරු හොඳින් නිරීක්ෂණය කිරීම. මෙය Inspection ලෙස හැඳින්වේ.
♦ පියයුරු මර්ෂණය හෙවත් අතින් අල්ලා පරීක්ෂා කිරීම. මෙය Palpation ලෙස හැඳින්වේ.
පියයුරු නිරීක්ෂණය කළ හැකි ආකාරය
මෙය ඉරියව් තුනකින් නිරීක්ෂණය කළ යුතුය.
♦ ප්‍රථමයෙන් උඩුකය සම්පූර්ණයෙන්ම නිරාවරණය කර කැඩපතක් ඉදිරියේ සිටගැනීම.
♦ අත්දෙක දෙපස තබා සෘජුව සිටගෙන පියයුරු නිරීක්ෂණය කිරීම.
♦ අත්දෙක හිසට උඩින් ඔසවා පියයුරු දෙක හා කිහිලි පෙදෙස නිරීක්ෂණය කිරීම.
♦ අත්දෙක ඉණ මත තබා පපුව මඳක් ඉදිරියට තල්ලුකර පියයුරු නිරීක්ෂණය කිරීම.
මෙම අවස්ථා තුනේදීම ඉහත සඳහන් කරනු ලැබූ කිසියම් හෝ සුළු වෙනසක්වත් සිදුවී ඇත්දැයි හොඳින් නිරීක්ෂණය කළ යුතුය.
පියයුරු මර්ෂණය කිරීම
♦ ඇඳක හෝ ඝන මතුපිටක වැතිර සිට හෝ සිටගෙන සිදුකළ යුතුය.
♦ පරීක්ෂාවට ලක්කරන පැත්තේ අත ඉහළට ඔසවා එම පැත්තේ පියයුර හා කිහිලි පෙදෙස හොඳින් පරීක්ෂාවට නිරාවරණය කිරීම.
♦ අනෙක් පැත්තේ අතෙහි ඇඟිලි එක්කොට ඒවායේ ඇතුළු පැත්තෙන් පියයුරු හොඳින් මර්ෂණය කරමින් එහි ආසමානතාවයක්, ගැටිති, සමයටින් ඝණවීමක් හෝ එහා මෙහා නොයන තද ස්වභාවයක් වේදැයි පරීක්ෂා කිරීම. මෙය කිරීමේදී වම් අතින් දකුණු පියයුර හා දකුණු කිහිල්ලද දකුණු අතින් වම් පියයුර හා වම් කිහිල්ලද පරීක්ෂා කළ යුතුය.
♦ පියයුරුවල සෑම කොටසක්ම ආවරණය වන පරිදි පියයුරේ පිටතින් පටන්ගෙන ඔරලෝසුවේ කටු ගමන් කරන දිශාවට රවුමට පිටත සිට ඇතුළත ඇති තනපුඩුව දක්වාමද කිහිලි පෙදෙස වෙනමද මේ ආකාරයට ඇඟිලිවලින් තදකර පරීක්ෂා කළ යුතුය.
මෙය සිදු කිරීමේදී පියයුරේ එක් එක් මට්ටම්වල අසමානතා වෙන වෙනම දැන ගැනීමට එකිනෙකට වෙනස් වූ තෙරපීමක් යෙදිය යුතුය. සම මතුපිට සහ සම ආසන්නයේ සමට යටින් ඇති අසමානතා දැක ගැනීමට මතුපිට සැහැල්ලු ලෙස අල්ලා බැලිය යුතුය. අවසානයේ ගැඹුරින් තෙරපීම මගින් පියයුරේ ඇතුළතින්ම ඇති අසමානතා පරීක්ෂා කළ යුතුය.
♦ ඇරියෝලාව (තනපුඩුව) වටා ඇති තද පැහැති කොටස හා තනපුඩුව මිරිකා ශ්රාවයක් පිටවන්නේ දැයි බැලිය යුතුය. කෙසේ වුවද මෙලෙස හමුවන සියලුම වෙනස්කම් පිළිකාවක් නොවන බව ඔබ අවධාරණයෙන් දැනගත යුතු කරුණකි. නමුත් ඔබට යම් සැකසහිත යමක් වේ නම් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීම වඩාත් වැදගත් වේ.
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෂාම ගුණතිලක
Wmqgd .ekSu wo forK fjí wvúh